ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් නියෝග මත පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය, මැයි 20 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේදී කැඳවනු ලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී විමර්ශනවල ප්‍රගතිය දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් අතිශය සංවේදී කරුණු රැසක් අනාවරණය කළේය.
📌 ප්‍රංශයේදී සටහන් කරගත් ‘හැරවුම් ලක්ෂයේ’ ප්‍රකාශය
අධිකරණයට පිටු 14ක දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් ෆෝ’ නාලිකාවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රංශයේදී දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු කණ්ඩායම ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති නිල නිවසේදී මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.
“ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ මේ ප්‍රහාරයේ මහ මොළකරු වශයෙන් කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙනවා. දේශපාලන අවශ්‍යතාවක් ඉටුකිරීම සඳහායි එය කර තිබෙන්නේ,” යැයි දිලීප පිරිස් මහතා අවධාරණය කළේය.
🤝 බන්ධනාගාර කුටියේ සිට ඇරඹි සබඳතාව සහ බෝම්බකරු ජමීල්
අලියාර් හංදියේ ගැටුමකට බන්ධනාගාරගත වූ සහරාන් හෂීම්ගේ කල්ලියේ සෙයිනි මවුලවි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් (සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්) එකම සිරකුටියක පසුවී ඇත. එහිදී තමන් සතු “මැරෙන්න සූදානම් පිරිස” ගැන සෙයිනි මවුලවි කළ ප්‍රකාශය සුරේෂ් සලේ වෙත ලැබී ඇති අතර, ඉන් අනතුරුව සලේ, සෙයිනි සහ පිල්ලෙයාන් අතර සබඳතාව ගොඩනැඟී තිබේ.
ප්‍රහාරයට පෙර, සහරාන් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් හය දෙනෙකු පුත්තලමේදී සුරේෂ් සලේ හමු වී සාකච්ඡා කර ඇති බවත්, ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී සුරේෂ් සලේ, අසාද් මවුලානා අමතා ටාජ් සමුද්‍රා හෝටලය අසල සිටි ‘ජමීල්’ නමැති බෝම්බකරු රැගෙන යන ලෙසත් ඔහුගේ දුරකථනය භාරයට ගන්නා ලෙසත් දන්වා තිබේ. මෙම බෝම්බකරු අහිංසකයෙකු ලෙස හැඳින්වූ පොලිස් නිලධාරී වරුණ ජයසුන්දර සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක වේ.💰 මහජන මුදලින් අන්තවාදීන් රැකීම සහ දේශපාලන ඩීල්
ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලෙයාන් හමු වී, “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් එළියට ගන්නා බව” පවසා ඇත. ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු, බුද්ධි තොරතුරු පිටතට යාම වැළැක්වීමේ අරමුණින් සුරේෂ් සලේව සමස්ත රාජ්‍ය බුද්ධි සේවයේම ප්‍රධානියා ලෙස පත්කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි සෙයිනි මවුලවිට ඇප ලබා ගැනීමට වැය වූ රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල ගෙවා ඇත්තේ යුද හමුදා බුද්ධි අංශය මඟිනි. මාස හයකින් එළඹෙන ඡන්දය ඉලක්ක කරගනිමින් මෙම තොරතුරු වසන් කිරීමට මහජන මුදල් මෙලෙස වැය කර ඇති බව පැමිණිල්ල පාර්ශවයෙන් ප්‍රකාශ විය.🛑 සුප්‍රසිද්ධ ඝාතන සහ පැහැරගැනීම් පිටුපස හමුදා බුද්ධි අංශ?
පිල්ලෙයාන්ගේ කල්ලියේ 2,000කට අධික පිරිසකට යුද හමුදා බුද්ධි අංශයෙන් වැටුප් ගෙවා ඇති අතර, ඒවා රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නොව දේශපාලන කොන්ත්‍රාත්, විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම් සහ ඝාතන සඳහා යොදවා ඇති බව අසාද් මවුලානාගේ ප්‍රකාශයෙන් හෙළි වේ.
- ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම
- කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන්ට පහරදීම
- ලසන්ත වික්‍රමතුංග ඝාතනය
යන සියල්ලට මෙම කල්ලි සම්බන්ධ වී ඇති බවත්, මේ පිළිබඳව වහාම පියවර ගන්නා ලෙස යුද හමුදාපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, තොරතුරු වසන් කළහොත් ඉදිරියේදී යුද හමුදාපතිවරයාව වුවද සැකකරුවෙකු ලෙස ඉදිරිපත් කිරීමට සිදුවන බව පැවසීය.⚠️ “සුරේෂ් සලේ තමයි ප්‍රධාන ග්‍රහයා”
සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, වර්තමානයේ සිදුවන අභිරහස් මරණ රැල්ල හමුවේ ඔහුගේ ජීවිතයට ද තර්ජනයක් පවතින බවත්, මෙම නඩු විභාගය ඔහුට “වේදිකාවක්” කර ගැනීමට ඉඩ දිය නොහැකි බවත් ප්‍රකාශ කළේය. 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් කිරීමට සලේ කර ඇති ඉල්ලීම, විමර්ශන අඩාල කිරීමට සංවිධානාත්මක කල්ලියක් විසින් දරන උත්සාහයක් බව ද හෙළි විය.
“කිසිදු සැකයක් නෑ. සුරේෂ් සලේ තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ග්‍රහයා. ඔහු වටේ තමයි අනෙකුත් ග්‍රහයින් කැරකිලා තියෙන්නේ. සුරේෂ් සලේ මේ ක්‍රියාව කළේ කා වෙනුවෙන්ද කියා අප සොයනවා,” යැයි පවසමින් දිලීප පිරිස් මහතා කියා සිටියේ, මෙම ප්‍රහාරය මුලින් උතුරු හෝ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් සමූල ඝාතනයක් ලෙස සැලසුම් කර පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා වෙනස් කර ඇති බවයි.නඩුව පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
